Jamboard - 4K Digital Whiteboard From Google

 Jamboard - 4K digital Whiteboard From Google
ගූගල් වෙතින් නවීන වයිට්බෝඩ් එකක් හදුන්වාදෙයි.

මෙතෙක් කාලයක් පුරාවට ‍රැකියා ආයතනයක සාකච්ඡා ශාලාවක වූවද, උසස් අධ්‍යාපන ආයතනයක දේශන ශාලාවක වුවද ප්‍රධාන


තැන් හිමිකරගත් උපකරණයක් වූයේ වයිට්බෝඩයයි. සාම්ප්‍රදායික කළුලෑල්ලේ පරිණාමය වූවක් ලෙසින් සැලකිය හැකි වයිට් බෝඩ් එක සහ මාකර් පෑන් සැබැවින්ම ඕනෑම අයෙකුට හුරුපුරුදු උපකරණයක් බවට පත්වන්නේද එහි ඇති ඉහළ උපයෝග්‍යතාවය නිසාවෙනි. කෙසේ වුවත් සියලුම දේ ඩිජිටල්කරණය වන වර්තමානයේදී වයිට්බෝඩයටද නවීන තාක්ෂණයෙන් බේරී සිටීමට නොහැකි වී ඇත. ගූගල් සමාගම විසින් Jamboard උපාංගය හඳුන්වා දෙන්නේ සාම්ප්‍රදායික වයිට් බෝඩ් එක වෙනුවට භාවිත කළ හැකි එහි ඩිජිටල් අනුප්‍රාප්තිකයෙකු ලෙසිනි.

කෙසේ නමුත් වයිට් බෝඩ් උපකරණය Jamboard උපාංගය බවට පත් කිරීමේදී ඊට වයිට් බෝඩයකින් බලාපොරොත්තු විය නොහැකි සුවිශේෂී හැකියාවන් ගණනාවක් ගූගල් විසින් දෙනු ඇති බවද උපකල්පනය කළ හැකි දෙයකි. සැබවින්ම අඟල් 55 ප්‍රමාණයේ ස්පර්ෂ තිරයක් ලෙසින් හැඳින්විය හැකි Jamboard උපාංගය ඔබට පහසුවෙන්ම දේශන හෝ සාකච්ඡා ශාලාවක තැන්පත් කර තැබිය හැකි අතර, වයිට් බෝඩ් එකකින් සිදුකළ හැකි ක්‍රියාකාරකම් වඩාත් පුළුල් තලයක සිට පරිශීලකයන්ට සපයා දීමට එය සමත්වනු ඇත. සාම්ප්‍රදායික වයිට් බෝඩ් එකක් ලෙසින්ම භාවිත කිරීම සඳහා මෙම Jamboard උපාංගය සමගින් ස්ටයිලස් පෑන් දෙකක් සහ සාම්ප්‍රදායික වයිට් බෝඩ් ඉරේසරයක කාර්යය ඉ‍ටු කරන වක්‍රාකාර කුඩා උපාංගයක් ලැබෙනු ඇත. මෙම ස්ටයිලස් පෑන් ද්විත්වය භාවිත කර සම්මත මාකර් පෑන්වලින් සිදුකරන කාර්යයම කළ හැකිවේ. මෙම Jamboard ස්පර්ෂ තිරයට පොයින්ට් 16 ක් දක්වා ස්පර්ෂයන් හඳුනාගත හැකි නිසාවෙන්ම කිහිප දෙනෙකුට වුවත් එක් වර මෙම උපාංගය භාවිත කිරීමේ පහසුව තිබේ.

හඳුන්වාදීමේ වීඩියෝව බලන්න.


මෙම උපාංගයට සම්මත OCR (Optical graphic symbol recognition) හැකියාවන් ලබාදී තිබේ. එනම් මෙම ස්පර්ෂ තිරයේ සටහන් කරන ඕනෑම දෙයක් ඩිජිටල් අකුරු බවට පරිවර්තනය කිරීමේ හැකියාව මෙයට තිබේ. එසේම එසේ පරිවර්තනය කරනා දත්ත Google Drive හි සුරක්ෂිත කෙරෙනු ඇත. එවිට සාකච්ඡා ශාලාවේ සිටිනා අනෙකුන් හටද තමන්ගේ ස්මාට්ෆෝන් හෝ ටැබ්ලට් හෝ ලැප්ටොප් උපාංගයන් ඔස්සේ එම දත්ත වෙත යම් වෙනස් කිරීමක් හෝ යෝජනා කිරීමක් හෝ සිදුකරමින් වචනාර්ථයෙන්ම සක්‍රියව සාකච්ඡාවට සහභාගී වීමට ඉඩ ලැබීමද විශේෂත්වයකි. මෙය සැබවින්ම වයිට් බෝඩයක හැකියාවන් මීළඟ තලයට ගෙන යෑමක් පමණක් නොව, දේශනයක හෝ කාර්යාල සාකච්ඡාවක හැකියාවන්ද වැඩිදියුණු කරවීමක් ලෙසින් දැකිය හැකිය.

ඡායාරූප.